බැංකුවල අක්‍රීය ණය ලැයිස්තුව – පාඨලී ගෙන් හෙළිදරව්වක්

ආදායම් වියදම් පියවා ගැනීම සඳහා මෙවර අයවැයෙන් නිශ්චිත ක්‍රමවේදයක් යෝජනා කර නොමැති බවත් එසේ ආදායම් වියදම් පියවා ගැනීම සඳහා තවදුරටත් බදු දැල පුළුල් කිරීමට සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර තිබේ.

වැට් බද්ද 03%කින් වැඩි කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ සඳහන් කර ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙම නව වැට් බද්ද සඳහා අන්තර්ගත වන බව ද ඔහු සඳහන් කළේය.

අතිරේක වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් 2.1%ක් එනම් රුපියල් බිලියන 600කට අධික ප්‍රමාණයක් මෙම බදු හරහා අය කර ගැනීමට නියමිත බව ද ඔහු පැවසුවේය.

ඒ අනුව එක් පුද්ගලයකු ගෙන් පමණක් වැට් බද්ද හරහා රුපියල් 30,000ක මුදලක් රජයට අය කර ගැනීමට අවශ්‍ය බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

දැනට ද ඉතා අපහසුවෙන් ජීවත් වන මහජනතාවට මෙසේ භාණ්ඩ හා සේවා මත අය කරන බද්ද වැඩි කිරීම දරා ගැනීමට අපහසු තත්ත්වයක් වනු ඇති බව ඔහු අවධාරණය කරයි.

මේ අතර, බැංකු පද්ධතිය ප්‍රතිප්‍රාග්ධනකරණය සඳහා බිලියන 450ක අවශ්‍යතාවක් ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ සඳහනක් කරමින්, මහජන බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පැහැර හරින ලද ණය පිළිබඳ හෙළිදරව්වක් සිදු කළේය.

එම අක්‍රීය ණය ප්‍රමාණය බිලියන 700ක් වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ණය මුදල් අය කර නොගෙන මහජන බදු හරහා බැංකු ප්‍රතිප්‍රාග්ධනකරණය කිරීම ඉතා අයුක්ති සහගත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බැංකුවල අක්‍රීය ණය ලැයිස්තු තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව චම්පික රණවක මහතා සඳහන් කර‍යි.

එම ලැයිස්තු ඉදිරිපත් කරන ලෙස අදාළ බැංකුවලින් රජයේ මුදල් කාරක සභාව ඉල්ලීමක් කර ඇති නමුත් එය ඉදිරිපත් කිරීමට බැංකු අසමත් වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

එම ලැයිස්තුව ඉදිරිපත් කළ හොත් දූෂණය ගැන, නීතිය හා සාමය ගැන, අයුක්තිය, අසාධාරණය ගැන කතා කරන බොහෝ දෙනා ගේ රෙදි ගැලවෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ නිසා රජය කළ යුත්තේ, අක්‍රීය ණය අය කර ගැනීම සඳහා සක්‍රීය වැඩපිළිවෙළක් යෝජනා කිරීම මිස මහජනතාව ගෙන් බදු අය කර ගැනීම නොවන බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *