බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩු පැවරීය.

අධිචෝදනා 13 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇති නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දී ඇත.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නීතීපතිවරයා මෙලෙස නඩු පැවරීය.

සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රවණ සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අදාළ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *