බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14 ක් විකිණීමට ටෙන්ඩර් කැඳවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.
එම වාහන අතර ටොයෝටා සහ කියා ජීප්, බීඑම්ඩබ්ලිව් සහ නිසාන් කාර් ඇතුළු වර්ග කීපයක වාහන ඇතුළත් වේ.
අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් එම සුඛෝපභෝගී වාහන විකිණීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස් දී ඇති බවත් එම වාහන අතරට විවිධ වර්ගවල සහ මාදිලිවල සුඛෝපභෝගී වාහන රැසක් ඇතුළත් බවත් එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර ආපසු නොගෙවන රුපියල් 5000 ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ – 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැකි බවත් එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ – 07 ලිපිනයේදී එම වාහන පරීක්ෂා කළ හැකි බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවන රුපියල් 50,000 ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පත ද සමග මේ මස 16 දින පෙරවරු 10.00 ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු බවත් වැඩි විස්තර 0112574740 හෝ 0112574941 දුරකථනවලට ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ වෙබ් අඩවිය හරහා ගතහැකි බවත් බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.