බයිඩන් පුතා වරදකරු වෙයි

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය.

එම චෝදනා සම්බන්ධයෙන්, ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී, නඩු විභාගය පැවැත්විණි. ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම 54 හැවිරිදි හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, ව්‍යාපාරිකයකු සහ නීතීඥවරයකු ද වන හන්ටර් බයිඩන්ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතී. දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනි දින සිදුකිරීමට නියමිත බව පැවැසිණි.

ජූරි සභිකයන් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වුණු චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් නිසා, දඬුවම් නියම කිරීමේ දී ඒ් ගැන විශේෂ සැලකිල්ලක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.

මීට පෙර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, ඒ බව සඟවා, ගිනි අවියක් මිලදී ගැනීමේ සිද්ධියකට ද හන්ටර් බයිඩන් වරදකරු විය. ඇමෙරිකා ජනාධිපතිවරයකුගේ දරුවකු මේ අයුරින් අධිකරණයක් හමුවේ වරදකරු වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *