2024 අයවැය යෝජනාවලිය හරහා බදු සම්බන්ධයෙන් සාධනීය යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජේ. ටී චන්දන මහතා සඳහන් කරන්නේ මෙම බදු ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ. ටී චන්දන මහතා,
“2024 අයවැය යෝජනාව තුළ බදු සම්බන්ධයෙන් අපිට දැකිය හැකි හොඳ යෝජනා කිහිපයක් තිබෙනවා.”
“රටේ බොහෝ දෙනෙක් ආදායම්වලට කියන්නේ මැණික් වික්කා… මැණික් වික්කා කියලා. මෙවර යෝජනා කරලා තිබෙනවා මැණික් කර්මාන්තය මත වෙන්දේසිවලදී රඳවාගැනීමේ බදු සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්න අදාළ සංශෝධනයන් කරනවා කියලා.”
“ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු ලබානොදෙන්නන්ට.. බදු වාර්තා හෝ තොරතුරු ලබානොදෙන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය විධිවිධාන දේශීය ආදායම් පනතට ගෙනඑනවා කියලා තිබෙනවා.”
“ජංගම ගිණුමක් විවෘත කරද්දී, වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී, ඉඩම් ලියාපදිංචියේදී, වාහන ලියාපදිංචියේදී බදු ලිපිගොනු අංකය අනිවාර්ය කිරීම ඉතා හොඳ යෝජනාවක්.”
“තමන් අනාවරණය කළ ආදායමකින් නම් වාහනය ගන්නේ ඒකට අතිරේක බද්දක් නැවත එන්නේ නැහැ. තමන් අනාවරණය නොකළ ආදායමකින් නම් වාහනයක් මිලදී ගන්නේ එතනදී බද්දක් එන්න පුළුවන්.”
“බද්දට යටත් සීමාවේ ඉන්න කෙනෙක් බදු ගෙවන්නේ නැත්නම් හෝ නියමිත බද්ද ගෙවලා නැත්නම් තමයි ඔහු ඒවා පියවිය යත්තේ. එහෙම නැතුව වාහනයක් ගත්ත පලියටම බදු ගෙවන්න වෙන්නේ නැහැ. බද්දට අවශ්‍ය කරන තොරතුරක් පමණයි ඒක.”
“අධික මිලක් සහිත අති සුඛෝපභෝගී මෝටර් රථ පාවිච්චි කරන අය ලංකාවේ ඕන තරම් ඉන්න පුළුවන් ලිපිගොනු නැති. අපි කියන්නේ ඒ අයව මේ බදු ක්‍රමය තුළට රැගෙන එන්න ඕනේ.”
“මේක වාහනවලටවත් ඉඩම්වලටවත් බදු අයවෙන ක්‍රමයක් කියලා ජනතාව බිය වියයුතු නැහැ. බද්ද අය කරන්නේ තමන්ගේ ආදායම මත.”
“ජනතාවට සහනයක් ලබාගත හැකි වන්නේ සියලුදෙනා නිවරැදිව බදු ගෙවන තත්ත්වයට ආවොත් තමයි.”
“අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු… ලක්ෂ 12 සීමාවට බදු පැනවීම අපි දකිනවා. ඒක යම්කිසි ආකාරයක පීඩනයක් ගෙනදෙනවා ජනතාවට.”
“අපි කියන්නේ ලක්ෂ 12 කියන සීමාව ලක්ෂ 24 සීමාවකටවත් දානවා නම්, බදු අනුපාතිකය 36%ක් වගේ විශාල අනුපාතයකින් තියන්නේ නැතුව අඩු ආදායම් ලාභීන්ට ඊට වඩා සහනයක් දීලා ඒක 24%කට වගේවත් ගෙනල්ලා මිලියන 5ක 6ක වගේ ආදායමක් තිබෙන කෙනෙකුට 36% දාන්න පුළුවන්.”
“ඊට වැඩි ආදායමක් තිබෙන කෙනෙකුට 40% කරන්න පුළුවන්.”
“මේ වගේ නම්‍යශීලි ප්රතිපත්තියකට යා යුතුයි ජනතාව මත බද්දෙන් ඇතිවී තිබෙන පීඩනය ඉවත් කිරීම සඳහා.”
“පඩි වැඩි කළා කියලා ජනතාවට ප්‍රතිලාභයක් එන්නේ නැහැ. හේතුව භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යනවා නම් වැටුපේ මූර්ත වටිනාකම අඩු වෙනවා. විය යුත්තේ රටේ නිෂ්පාදනය වැඩි කරලා භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කිරීම සහ බදු අඩු කිරීම.”
“රජය අතරමැද දී බදු සංශෝධන ගෙන එන්න පුළුවන්. ඉදිරියේදී ගෙනඑනවා කියන ඉඩම් හෝ ධන බදු වැනි බදු ක්‍රම මගින්.”
“මෙතෙක් ඉදිරිපත් කළ අයවැය යෝජනා කිසිවක් 100%ක් ක්‍රියාත්මකවෙලා නැහැ. ක්‍රියාත්මක වෙන්නේ බදු සම්බන්ධ යෝජනා විතරයි. අයවැය යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම තුළ තමයි මේ රට සංවර්ධනය වුණේ නැත්තේ.”
කෙසේවෙතත් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ. ටී චන්දන මහතා තවදුරටත් සඳහන් කළේ,
“රාජ්‍ය ආදායමට විශාලම දායකත්වයක් ලබාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. නමුත් සේවකයින් දිරිගැන්වීම සඳහා දෙන දිරි දීමනාවවත් මේ අයවැය ඉදිරිපත් කරන මොහොත වනවිට ලබාදීලා නැහැ සේවකයින්ට.”