සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පුද්ගලික බස්රථ ධාවනයට එක්කිරීමට හැකි වනපරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ 2කට අධික වූ සහනාධාරයක් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලික බස්රථ සංගම් සමග සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණි බව අද මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන පුද්ගලික බස්රථ 350ක් හා එහි කාර්යමණ්ඩල සඳහා නියමිත සහන පැකේජය ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර හින්දු සංස්කෘත ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
ඒ යටතේ බස්රථ සඳහා ලිහිසි තෙල්, ටයර්, ඩීසල්, රක්ෂණය ආදිය සඳහා සහන වට්ටම් හා මුදල් ගෙවීමට සහන කාලයක් හිමිවේ.
එම සහන පැකේජය මගින් බස්රථ හිමියන්ගේ සියලු ගැටලු නිරාකරණය කරගැනීමට නොහැකි වුවත්, ඒ තුළින් බස්රථය ධාවනයට සුදුසු පරිදි මාර්ගයට යෙදවීමට හැකි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ යටතේ අන්තර් පළාත් බස්රථ සහ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල සේවකයන් සඳහා ද සහනයක් හිමිවන බව අමාත්‍යවරයා පැවසීය.
කුමණ කොන්දේසි යටතේ රට විවෘත කළත් විවෘත කිරීමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවාව අනුගමනය කළ යුත්තේ කුමණ නිර්ණායකයන් ද යන්න පිළිබඳව අදාළ ආයතන මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සතියේ දී එහි අවසන් තීන්දුව ගැනීමට නියමිතය.
මේ අතර වත්මන් රජයට මහජනයා බලය ලබාදී ඇත්තේ මෙරට සම්පත් අලෙවිකිරීමට නොවන බවත් අලෙවි කරන්නේ නම් අලාභ ලබන සම්පත් රැසක් පවතින බවත් ඔහු පැවසීය.
නමුත් ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක එවැනි තීරණයකට නොපැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ලබන වර්ෂය සඳහා නියමිත අයවැය මගින් ජනතාවට විශාල සහන රැසක් ලබාදීමට නොහැකි වුවත් කිසිදු අවස්ථාවක අයවැය තුළින් ජනතාවට අමතර බරක් නොදෙන බවද සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වර්ෂය අවසානයේදී නව සුඛෝපභෝගී දුම්රිය දෙකක් ධාවනයට එක් කරන බවය.
ඉන් එක් දුම්රියක් මහනුවර – කොළඹ අතර ධාවනය කරවීමට අපේක්ෂා කෙරේ