සතොස සමූපාකාර අලෙවිසැල් ජාලය ඔස්සේ අද සිට රතු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම මිලක් යටතේ පාරිභෝගිකයන්ට මිලදීගත හැකිය.
ඒ අනුව ලංකා සීනි සමාගමෙන් මේ වන විට සතොසට සහ සමූපාකාර අලෙවිසැල් ජාලයට සීනි මෙට්‍රික් ටොන් 1750ක් ලබාදීමට කටයුතු කර ඇත.
ඊට අමතරව ගල්ඔය සීනි කර්මාන්තශාලාව හරහා තවත් සීනි මෙට්‍රික් ටොන් 600ක් එම වෙළෙඳසැල් වෙත ලබාදී ඇති බව වාර්තා විය.
ඒ අනුව අද සිට මාස තුනක් ලංකා සීනි සමාගම හරහා දේශිය රතු සීනි හිඟයකින් තොරව බෙදාහැරීමට තීරණය කළ බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
“ලංකා සීනි සමාගම විසින් සතොස ආයතනයට මේ වනවිට අවශ්‍යකරන සීනි ප්‍රමාණය ලබාදීලා තියෙනවා රුපියල් 130 ගානේ සහන මිලට ජනතාවට සීනි ලබාදෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන සියලුම සමූපාකාර තොග වෙළෙඳසැල් සඳහා සීනි ලබාදෙන්න ලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම හරහා. අපි මේ රටේ ජනතාවට කියනවා වැඩි මිලට සීනි මිලදී ගන්න එපා කියලා. රජය උපරිම මැදිහත්වෙලා ජනතාවට සීනි ලබාදීමට කටයුතු කරනවා.”
මෙරට දෛනික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 1,500ක් පමණ වේ.
මේ අතර ඊයේ (31) ටිවි දෙරණ ඔස්සේ විකාශය වු “වාද පිටිය” වැඩසටහනට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ මෙරට සීනි පරිභෝජනයට සාපේක්ෂව අඛණ්ඩව රතු සීනි බෙදාහැරීමට රජයට නොහැකි බවය.
“සුදු සීනි ගෙනල්ලා නෑ මාස 3ක් විතර. රතු සීනි ගෙනල්ලා නෑ මාස 6ක්. දැන් එතකොට මේ ගබඩාවලින් ඔබතුමන්ලා ගිහිල්ලා උකුස්සා වැඩසටහනෙන් හෝ ගාලා හොයනවා. මෙට්‍රික් ටොන් 20,000ක් අල්ල ගත්තා කියලා කියන්නකෝ. මාසෙකට මෙට්‍රික් ටොන් 60,000ක් කියලා හිතන්නකො ගණන් හදන්න ලේසියට. එතකොට දවසකට මෙට්‍රික් ටොන් 2,000ක් පාවිච්චි කරනවා. එතකොට අල්ලගත්ත ප්‍රමාණය ඇති දවස් 10කට. ලංකාවේ ආයතන වලින් රුපියල් 130ට 125ට දෙනවා කියනවා. කිලෝ 1යි දෙන්නේ සතොසෙන්. හරියට හොයලාබන්නේ නැති වැඩෙන් දැන් ආපහු පෝලිම් යුගයක් බිහි වෙන්නේ.”