රසායනික පොහොර හිඟය මධ්‍යයේ වුවද 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ සමස්ත තේ නිෂ්පාදනය මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි වැවිලි ඇමැති ආචාර්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව අමතමිනි.
පවතින අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුව සඳහා ඒකාබද්ධ පෝෂක කළමනාකරණ වැඩසටහනක් කඩිනම් කිරීමට අමාත්‍යාංශය සූදානම් බවද ඔහු පැවසීය. තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට රසායනික පොහොර පමණක් නොව සෙවන, ජලය සහ පාංශු සාධක ද ඉතා වැදගත් බව අමාත්‍යවරයා පැවසීය.
රට තුළ රසායනික පොහොර හිඟයක් පැවතියද 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ සමස්ත තේ නිෂ්පාදනය මිලියන 21කින් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ මාතර ඇතුළු ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් රැසක් රසායනික පොහොර හිඟය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පෙන්වා දුන් අවස්ථාවේදීය.
රසායනික පොහොර මිල ඉහළ යාම හමුවේ තේ වතුවලට කාබනික පොහොර ලබාදීමේ විධිමත් ක්‍රියාවලියක් රජය විසින් පවත්වාගෙන යාම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කාරක සභාවට පෙන්වා දුන්නේය. තේ වගාව සඳහා රජය විසින් වෙන් කරන ලද ඇතැම් රසායනික පොහොර වෙනත් ප්‍රදේශවල වැඩි මිලට අලෙවි කළ බව වැවිලි අමාත්‍යවරයා පැවසීය. පවතින ගෝලීය තත්ත්වය යටතේ රසායනික පොහොර මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව තේ වතු සඳහා ජල සැපයුම ලබාදීමේ වියදමෙන් 50%ක් රජය විසින් ලබාදෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව වතු කම්කරුවන්ගේ මූලික වැටුප රු. 1,000 කි. මෙය දැනට අධිකරණයේ පවතින ප්‍රශ්නයක් බැවින් අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියද මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සේවකයන් සහ කළමනාකාරීත්වය අතර එකඟතාවක් ඇති විය යුතු බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම වැවිලි කර්මාන්තයේ උන්නතිය ප්‍රධාන අරමුණ කරගත් අමාත්‍යාංශය තුළ යම් අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් තමන් නිසි පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.