පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ තිදෙනෙක් අත්අඩංගුවට

පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇත.

ඒ, කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමිනි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව පොලීසිය විසිනි.

එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ ජංගම සංචාරයේ නිරත   පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩපාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක තිබුණි.

ඔවුන් එම ස්ථානයට ළඟාවීමත් සමගම එහි සිටි පුද්ගලයින් තිදෙනා පළාගොස් තිබේ.

එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් පළායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹාගොස් ඉන් දෙදෙනෙකු ඒ මොහොතේදීම අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

අනතුරුව ඔවුන් දෙදෙනාට අත්මාංචු දමා ඔවුන් සිටි ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව ඒ වනවිටත් එහි සිටි පුද්ගලයන් දෙදෙනා පවසා ඇත්තේ,

“මම පෙදරේරුවෙක්. මදුරු දඟර මිලදී ගැනීම සඳහා වෙළඳසැලට යමින් සිටියේ. මේ තිදෙනාගෙන් අයෙකු තමන් කැස්බෑව පොලීසියේ OIC බව කියමින් නවතින කිව්වා .  එම විධානයට අනුව මම නැවතුනා. OIC කියූ පුද්ගලයා අනෙක් පුද්ගලයාට කතා කරලා කිව්වා… පී.සී මේ දෙන්නගේ අයි ඩී චෙක් කරනවා” කියලා.

ඒ අවස්ථාවේදී තමන් වෙළෙඳසැලට යන නිසා හැඳුනුම්පත රැගෙන පැමිණියේ නොමැති බව දැනුම්දුන් පසුව තමන්ව හොඳින් පරීක්ෂා කරන ලෙස යළිත් පී. සී කියන පුද්ගලයාට දැනුම්දුන් බවත් පවසා තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කැස්බෑව පොලීසියේ OIC ලෙස රඟපෑ සැකකරු අරක්කැමියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවත් සැරයන් ලෙස හැඳින්වූ සැකකරු ත්‍රීරෝද රථ රියදුරකු බවත්, පී සී ලෙස හැඳින්වූ සැකකරු රැකියාවක් නොමැති අයෙකු බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් තිදෙනා ජබුරලිය සහ නිවුන්ගම පදිංචි වයස අවුරුදු 35 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් වෙයි.

සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *