‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී ඊයේ(24)පැවසීය.

ඡන්දෙ දුන්නොත් දෙන්න සල්ලි තියෙනවාදැයි ප්‍රශ්න කළ හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් අනුමත කර තිබෙන සල්ලි හැර වෙන තියෙන්නේ මොනවදැයි විමසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදීය.

මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා.ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා.ඔවුන් සමග කතා කොට සත්‍ය තත්වය පහදා දෙන්න උත්සාහ කරන්න.

මේ රටේ ඡන්ද දායකයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ආර්ථිකය කඩා වැටීමේදී ජනතාවට විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා.නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබුණේ නැහැ.දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *