නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නමැත්තිය රුපියල් කෝටි ගණනින් වත්කම් මිල දී ගැනීමේදී ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇගේ රූපලාවණ්‍ය නිෂ්පාදනායතනය වන ‘ලොලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගම“ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයේදී ‘ලොලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගම“ (LOLLIA SKIN CARE (Pvt) Ltd) නම් රූපලාවණ්‍ය නිෂ්පාදනායතනය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අංක පී.වී. 00256805 යටතේ ලියාපදිංචි කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මෙම ව්‍යාපාර ආයතනය මඟින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාරය මඟින් විදේශ ආනයන සහ අපනයන සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබන බව ද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන අයගේ සහ ඇයට හිමි මෙම ආයතනය නමින් ඇති බැංකු 08ක ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වී ඇති බවට ද සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇතැයි සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
රුපියල් ලක්ෂ 780කට රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් මිල දී ගැනීම, රුපියල් මිලියන 148කට කොළඹ 07 ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවෙසක් මිල දී ගැනීම සහ සැක සහිත ගනුදෙනු සහිත බැංකු ගිණුම් 20ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන අය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන බී වාර්තාවක් සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට ඉදිරිපත් කළේ පෙරේදා (19) දිනයේදීය. ඒ අනුව, මෙම තැනැත්තිය හා ඇගේ සමීපතමයන් මෙරට පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් වාර්තා ලබාගෙන ඇගේ සහ ඇගේ සමීපතමයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයන්ට අදාළව ගිණුම් 20ක් සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.