පැතිර යන නිව්මෝනියා රෝගය ගැන දැනුම්දීමක්

ගෙවුණු ඔක්තෝබර් මාසයේ පටන් හඳුනා නොගත් නිව්මෝනියා රෝගී තත්ත්වයක් උතුරු චීනයේ ළමයින් අතර සුලබ ව ව්‍යාප්ත වෙමින් පවතියි.

එරට බීජිං ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමුන් ගෙන් පිරීගොස් ඇති බව ද වාර්තා වේ.

ඇතැම් මාධ්‍යය මෙය මයික්‍රොප්ලාස්මා නියුමෝනියාව ලෙස හඳුන්වා ඇති අතර, එය වැළඳුණු ළමුන් කැස්ස නොමැති උග්‍ර උණ සහ පෙනහලු ආසාදන ආදී රෝග ලක්ෂණවලින් පීඩා විඳින බව සඳහන්ය.

මෙවන් පසුබිමක ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ අමෙරිකාවෙන් ද නියුමෝනියාවෙන් පෙළෙන ළමා රෝගින් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් තිබේ.

‘ඩෙන්මාර්ක් ස්ටේටන් සීරම්’ ආයතනය පවසන්නේ, ගෙවුණු සති 05 තුළ එරටින් වාර්තා වන මයික්‍රොප්ලාස්මා නියුමෝනියාව ආසාදිත ළමුන් ගේ ගණන, වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මයික්‍රොප්ලාස්මා නියුමෝනියාව යනු, බැක්ටීරියා හේතුවෙන් ඇති වන පෙනහලු ආශ්‍රිත රෝගාබාධයකි.

අගෝස්තු මාසයේ සිට ළමුන් සහ තරුණ පිරිස් අතර නියුමෝනියා තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබූ බව නෙදර්ලන්ත රජය ද ගිය සතියේ දී වාර්තා කළේය.

මේ අතර, ගෙවුණු අගෝස්තු මාසයේ සිට අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ද අසාමාන්‍ය නියුමෝනියා රෝග ව්‍යාප්තියක් වාර්තා වෙමින් තිබේ.

එමෙන්ම ඔහායෝහි වොරන් කලාපය තුළ නියුමෝනියා වසංගත තත්ත්වයක් වාර්තා වන බව ද සඳහන්ය.

තව ද එරට මැසචුසෙට් ප්‍රාන්තයෙන් ද අසාමාන්‍ය නියුමෝනියා රෝගීන් වාර්තා වී තිබිණි.

මෙහි දී මයික්‍රොප්ලාස්මා නියුමෝනියේ, ස්ත්‍රෙප්තකෝසස් නියුමෝනියේ යන බැක්ටීරියා වර්ග සහ ඇඩිනෝ වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී ආසාදන එරට සංසරණය වන බව වාර්තා වේ.

එහෙත් මෙම හදිසි රෝග ව්‍යාප්තිය සහ චීනයේ පැතිර යන නියුමෝනියා රෝග තත්ත්වය අතර සබඳතාවක් පවතිනවා ද යන්න හඳුනාගෙන නැත.

නියුමෝනියා රෝගී තත්ත්වය රටට පැමිණිය හොත් ඊට මුහුණ දීමට ඉන්දියාවේ ප්‍රාන්ත රැසක සෞඛ්‍ය පද්ධති සූදානම් කරමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කළේ මෙවන් පසුබිමකය.

මෙම නියුමෝනියාව ගෝලීය අවදානමක් ඇති කිරීමට ඇති අවස්ථාව සලකා ඒ සම්බන්ධ තොරතුරු ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ දී චීනයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් චීන විදේශ කටයුතු ඇමති වැන්ග් යී පෙන්වා දෙන්නේ, මෙය ලෝකයේ ඕනෑම රටක ඇති විය හැකි සාමාන්‍ය රෝග තත්ත්වයක් පමණක් බවයි.

තත්ත්වය පාලනය කර ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

එය තහවුරු කළ එරට චීන වෛද්‍ය ප්‍රධානියෙකු ද පැවසුවේ, එරට තුළ වෛරස රෝග තත්ත්වයක් ව්‍යාප්ත නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *