පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේ දී බාර දෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.එසේම ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.
පොලිස්පතිවරයා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙස කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල බවත් ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙන බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය. ආරක්ෂාව අවශ්‍ය බවට තහවුරු වූ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවැසුවේය. මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතා ගැන කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අදහස් දක්වමින් පැවැසුවේ තමන්ට ආරක්ෂාව දීම සඳහා පහසුකම් නොමැති නම් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්දු කුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහත්වරුන් අදහස් දක්වමින් පැවැසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ගන්නා තෙක් සම්පූර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරුන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසු බවයි. තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශවලට අනුව ද කටයුතු කළ හැකි බව ඔවුහු පැවැසූහ. මේ රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ ආරක්ෂක අංශවල නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.