පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක්  එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස් තවත් 57 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මියගිය සිවිල් වැසියන් අතර කාන්තාවන් තිදෙනකු සහ ළමයින් පස් දෙනකු සිටින බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවැසුවේය. දිගින් දිගටම පාකිස්තාන හමුදා ඉන්දියාව වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ඉන්දීය හමුදා ප්‍රහාරයක් එල්ල කළ බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දීය හමුදාවේ ප්‍රහාර පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර සිටියේ පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවත් එය පාකිස්තානය ලැබූ යුද ජයග්‍රහණයක් බවත්ය.

ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවේ සිටින ඉන්දීය හමුදාවටද දැඩි හානි සිදුව ඇති බවත් පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඉන්දීය හමුදා සෙබළුන් 50 ක් පමණ මියගොස් ඇති බවත් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දියාවේ පෙහෙල්ගාම් ප්‍රදේශයට 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පාකිස්තාන රජයේ ඇතැම් කොට්ටාශවල අනුග්‍රහය යටතේ එල්ල වූ ප්‍රහාරයක් බවට සාක්ෂි තිබෙන බවට පවසමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පෙරේදා(07) පාකිස්තානයේ ස්ථාන 9 කට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සින්දූර් මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සමග මේ වනවිට දෙරට අතර යුදමය තත්වයක් හටගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *