Income Tax

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රධාන පොදු ස්ථානවල TIN නිකුත් කිරීමට වෙනම කවුන්ටර

වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) නිකුත් කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙස මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී ස්ථානවල ඊට අදාළ කවුළු විවෘත කිරීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් දුන්නේය.

TIN නිකුත් කිරීමට අදාළ කටයුතු පුළුල් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මහජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.

මින් පෙර සිදු කළ පරිදි ඉන්ධන සඳහා QR කේතයන් නිකුත් කිරීම හා සමානව TIN නිකුත් කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රියාවලියක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

දැනට පවතින ඔන්ලයින් ලියාපදිංචි අයදුම්පත්‍රය කෙටි කිරීම සහ අංකය නිකුත් කිරීමට ගතවන කාලය දින පහකට වඩා අඩු කිරීම පිළිබඳව ද සාකච්ඡාව ආවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *