ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට ඇප ලබාදීම ගැන නියෝගය ලබන 14දා

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව දෑනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීම ගැන නියෝගය මේ මස 14 වැනි දිනට කල් තැබු මහර අංක 01  අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් තිදෙනා තවදුරටත් එදින තෙක් ( 14 වැනිදා ) රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළාය.

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර  . කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙදින එම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොසිට අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.  ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය කීවාය.

මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා  , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා ඉකුත් බ්‍රහස්පතින්දා ( 03 වැනිදා ) ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබා මේ වනවිට මුදා හැර තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කෙළේය.

මේ නඩුවේ ඉදිරි පියවර ගැන නීතීපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහිදි මේ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන්නේ ද යන්න  සලකා බලා ගෙන යන බවක් දැන ගැනීමට ලැබුණා.මේ නඩුව පවරා තිබෙන්නේ පොදු දේපල පනත යටතේයි. ඒ නිසා සැකකරුවන්ට ඇප ලබා දෙනවට විරුද්ධයි.

පස්වන සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනි සිටි නීතීඥ අමිල පල්ලියගුරු මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.

මේ නඩුවේ පළමු  , දෙවන හා තෙවන  සැකකරුවන් තිදෙනාට මහාධිකරණයෙන් ඇප ලබා දුන්නා.ඇප ලබා ගැනීම සදහා මහාධිකරණයට ඉදිරිපත්  කෙළේද මේ අධිකරණයට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කළ අසාමාන්‍ය හා සුවිශේෂී කරුණුමයි. ඒ නිසා මහාධිකරණයේ එම ඇප නියෝගය අවධානයට යොමු කොට තම  සේවාදායකයාට ද ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

මේ  සිද්ධියට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව තමයි තම සේවාදායකයාට ඉදිරිපත් කර තිබෙන්නේ.  මේ සිද්ධියට අදාළව සැකකරුවන්ට අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත්  කරන්නේ ද කියලා  නිශ්චිත කාලයක් තවම  පෙන්නුම් කරලා නැහැ. එහෙම අවිනිශ්චිත කාලයක් මත සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන්නට පුලුවන් ද කියන ප්‍රශ්නයත් දැන් අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තම සේවාදායකයා ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

හතරවන සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා හයවන සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
මේ සිද්ධියේ විමර්ශන අවසන්. සියලු සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නැහැ. ඒ වගේම අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම ගැන නිශ්චිත කාලයක් ද නැහැ. ඒ නිසා මහාධිකරණයෙන් පළමු  , දෙවන හා තෙවන සැකකරුවන් ඇප මත මුදා හැරිය ආකාරයටම තම සේවාදායකයින් දෙදෙනාට ද  ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

මෙහිදී දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ  මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීම ගැන නියෝගය මේ මස 14 වැනිදාට ප්‍රකාශයට පත් කරන බවත් එදින තෙක් එම සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් පැවසුවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් හා පොලිස් කොස්තාපල් නාමල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *