ඉකුත් වසරේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් හතරක් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළි විභාගයට ගත්තේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනය නියම කර තිබූ වකවානුවෙන් රටෙහි විශාල ආර්ථික අර්බුදයක් පැවති බවත් ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනතාව දැනුවත් කර තිබූ බවත් ය.
ඒ පිළිබඳව මැතිවරණ කොමිසම ද දැනුවත් කිරීමට කටයුතු කළ බව කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පළාත් පාලන ඡන්ද විමසීම පනතට අනුව පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා පැමිණෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ප්‍රතිපාදන දක්වා තිබෙන බවත් පැවසීය.
ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි අවස්ථාවකදී පළාත් පාලන මැතිවරණ පනත තුළ තිබෙන ප්‍රතිපාදන අනුගමනය නොකොට මැතිවරණ කොමිසම සිදුකළේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා සිටීම බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.