පශ්චාත් කොවිඩ් රෝගී තත්ත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් විසින් ලබාදිය යුත්තක් බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ, කොවිඩ් වැලඳී සුවය ලබා නිවෙස්වලට පැමිණෙන පුද්ගලයින් අතර නැවත කොවිඩ් නියුමෝනියා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා නේද?
ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ,
“පශ්චාත් කොවිඩ් රෝගී තත්ත්වයනුත් තියෙනවා. ඒකෙ තියෙන සංකූලතා තියෙනවා. ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ළඟ ඒ තොරතුරු ඇති. ඒ තොරතුරු ලබාගැනීම අවශ්‍යයි.”
සංචාරණ සීමා පනවා එක් කොවිඩ් ප්‍රභේදයක් පාලනය කළද, තවත් කොවිඩ් ප්‍රභේද රට තුළට පැමිණිය හැකි බවද කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඒ හේතුවෙන් කොවිඩ් සමග ජීවත්වීමට හුරුපුරුදු වියයුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
“චෝදනා කරන්න හැමෝටම පුළුවන් මේක චෝදනා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි. පක්ෂ පාට ආගම් ජාති භේදයකින් තොරව මෙම රෝගයෙන් ලංකාවේ සියලු පුරවැසියන් ආරක්ෂා කරගන්න ඕන. මේක ගෝලීය වසංගතයක්. ඒ නිසා චෝදනා කරන්නේ නැතුව මේකට සියලු දෙනාම තමන්ට පුළුවන් ආකාරයෙන් සහයෝගය ලබා දෙන්න. ලෝකයේ ගොඩක් රටවල් ලොක්ඩවුන් කරන්නේ නෑ. අපි ලොක්ඩවුන් කරලා පොදු ප්‍රවාහන සේවය ආරම්භ නොකරත්, අත්‍යවශ්‍ය සේවා සඳහා වාහන පැමිණෙනවා. ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන්න එපා. අවශ්‍ය සේවා සැපයීමට වාහන පැමිණෙනවා. සංචාරණ සීමා පනවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් ප්‍රභේද එන්නට පුළුවන්. එම නිසා අපි මෙයත් සමග ජීවත් වෙන්නට හුරුපුරුදු විය යුතුයි. එන්නත්වලට ජනතාව අතර දැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා සමහර තැන්වල තදබදයක් ඇති වෙනවා.”
මේ අතර ආනන්ද විජේවික්‍රම මහතාගේ ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ එම ප්‍රශ්නය එතුමන්ගෙන් විමසන ලෙසය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ,
“නිලිකා මලවිගේ මහත්මිය තාක්ෂණික කමිටුවෙන් ඉවත් වුණත් අනෙක් කටයුතුවලින් තම දායකත්වය දක්වනවා. ඒ වගේම ආනන්ද විජේවික්‍රම මහතා එම කමිටුවෙන් ඉවත් වුණත්, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග වෛද්‍යවරයකු ලෙස තවමත් අපිට සේවය ලබාදෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළට එන නම් සියලු දෙනා අපට සහයෝගය ලබාදෙනවා. ඔවුන්ට මේ වෙලාවේ මම හිස නමා ආචාරය පුදකරනවා.”