කොවිඩ් ආසාදිත, නමුත් අඩු සංකූලතා ඇති රෝගීන් නිවෙස් තුළ නිරෝධායනය කිරීමේ රජයේ වැඩපිළිවෙල දීපව්‍යාප්තව පසුගිය සඳුදා සිට ඇරඹුණි.
ගම්පහ කටාන ප්‍රදේශයේ නිවෙස් තුළ නිරෝධායනය වන එවන් ආසාදිතයන් පිරිසක් පිළිබඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ‘අද දෙරණ’ මාධ්‍ය කළ සොයා බැලීමකදී රෝගීන් චෝදනා කර ඇත.
ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය බලධාරීන් ඔවුන් පිළිබඳ නිසි සොයාබැලීමක් සිදු නොකරන බවටය. ඒ හේතුවෙන් දැඩි පීඩාවට පත්වී සිටින බවත සඳහන් කළේය.
“මම දවස් දෙකක් හුස්ම ගන්න අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියා. මගේ මල්ලිටත් අමාරු වුණා. PHI මහත්තයාට කිව්වාම කිව්වේ රෝහලට ගෙනියන්න කියලා. ගෙනියන්න තරම් පහසුකමක්වත් අපිට නෑ,” යනුවෙන් එක් නිවැසියෙක් සඳහන් කළේය.
මේ අතර කහවත්ත මූලික රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ 11 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ දෙකක්ද අද සිට තාවකාලිකව වසා දැමුණේ කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් හඳුනාගැනීම හේතුවෙනි.
එලෙස වසා දැමුණේ ආසාදිතයන් 48 දෙනෙකු හමුවූ කැස්බෑව ඩිපෝව සහ ආසාදිතයන් 12 දෙනෙකු හමුවූ කලවාන ඩිපෝවය.
මෙලෙස ආසාදිත වන ලංගම සේවකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා කළුතර පලාතොට මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලයේ සකස් කෙරුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් අද විවෘත කළේය.
මේ අතර මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඇරඹි 2020 මාර්තු 11 වැනිදා සිට මේ දක්වා දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ (13) වාර්තා වී තිබුණි.
එම සංඛ්‍යාව 156කි.
ඒ අනුව කොවිඩ් රැළි තුනකින් සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළගොස් තිබේ.
ඉන් තුන්වැනි රැල්ලේදී පමණක් මේ වනවිට මරණ 5,011 ක් වාර්තාවීම විශේෂත්වයකි.
මරණ සිදුවී ඇති වයස් කාණ්ඩ දෙස අවධානය යොමු කළහොත් අඩුම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් අතරය.
එම සංඛ්‍යාව 62 කි.
වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ පුද්ගලයින් 1,318 දෙනෙක් කොවිඩ් වෛරසයෙන් මියගොස් තිබේ.
මේ දක්වා කොවිඩ් හේතුවෙන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ය.
ඒ අනුව මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 4,240 දෙනෙකු වෛරසයෙන් මියගොස් ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 75 කට වැඩි අගයක් ගැනීම බරපතළ තත්ත්වයකි.