නිදහස් උළෙලේ තේමාව එළි දකී

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් උළෙල පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

නිදහස ලබා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දහස් සංඛ්‍යාත ලාංකිකයන් සිහිපත් කරමින් මෙවර නිදහස් උළෙල පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අදහස් දක්වමින් පැවසූයේ ජාතික සංහිඳියාව පිළිබිඹු වන පරිදි සියලු ජන කොටස් වල සහභාගීත්වයෙන් ජාතික නිදහස් උළෙල පැවැත්වෙන බවයි.

මෙම අවස්ථාවට  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික), යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ , ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහත්වරු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *