‘නව ගමනකට මුලපුරනවා‘

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ජනතාව අපේක්ෂා කරන ආකාරයේ  විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් ලබා දීමට සමගි ජනබලවේගය කැපවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

පලාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද පැවසීය.

“අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට අපේ ආචාරය පුද කර සිටිනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට අපේ  ගෞරවය පුදකර සිටිනවා.

මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරමක්ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව තිබෙනවා. විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට රටේ ජනතාව අපිට පණිවිඩයක් ලබා දී තිබෙනවා’
ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක කරන ආකාරයටයි.  මොවුන් ආගම දහම පවා ඒ වෙනුවෙන් භාවිත කළා.

රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි යන ජන මතය ලබාදී තිබෙනවා.

මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කර විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරනවා“ යැයිද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *