නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට පියවර

විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව ‘ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව’ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩ නිම කර ඇති ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක පැරණි හිඟ බිල්පත් මෙම මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව එහිදී ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුවේ සාමාජිකයන් පෙන්වා දුන් බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *