ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක්

ඉන්දු – ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා මෙම අර්බුදය පැන නැගී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරොධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර මෙය ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් 170 ට ආසන්න පිරිසක් මේ වන විට බන්ධනාගාරව ගතව සිටිති. එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඩුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දියා ධීවරයින් පිරිසක් එරට දී මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටලුව දෙපාර්ශවය සාකච්ඡා කරමින් තාවකාලිකව විසදා ගත්තද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

ඉන්දීය රජයද එම අදහසට එකඟතාවය පළ කළ බැවින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් ඇතුළු කණ්ඩායම ඊට අදාලව සාකච්ඡා ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *