තහනම් භාණ්ඩ සමඟ එංගලන්ත ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට

රිවෝල්වරයක්, එයට යොදන ජීව උණ්ඩ 10ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවි උණ්ඩ 05ක් නීතිවිරෝධී ලෙස රැගෙන එංගලන්තය බලා යාමට පැමිණි එරට වැසියෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවැනි ගිනි අවි, පිහි ගුවන් මඟින් රැගෙන යාම තහනම් කටයුත්තක් වන අතර, එසේ රැගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යනුකූල අවසරය ලබා ගත යුතු වේ.

පාකර් රොබට් මයිකල් නැමැති මෙම 54 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා අද දහවල් 12.55ට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත් ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 503 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එහි දී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරින් විසින් පරිලෝකන යන්ත්‍ර ( Scan ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම අවි සහ උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව මෙම ගුවන් මඟියා කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

ගුවන් මඟියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තම ආච්චි විසින් තමන්ට මෙම රිවෝල්වරය කෞතුක භාණ්ඩයක් ලෙස පරිත්‍යාග කළ එකක් බව පවසා තිබේ.

භාරයට ගත් භාණ්ඩ විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, ගුවන් මඟියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *