මෙරට තල් රා කර්මාන්තයේ යෙදෙන්නන් 1500 දෙනකු සඳහා පළමු වරට ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ 3) පත්‍ර පිරිනැමීමේ සමාරම්භක උත්සවය පසුගියදා (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
එම සහතික පත් පිරිනැමීම සංකේතවත් කරමින් යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කිළිනොච්චි ප්‍රදේශවල තල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් 06 දෙනකුට ඇමැතිවරයා අතින් සහතික පත් පිරිනැමීම මෙහි දී සිදු විය.
මෙරට තල් රා සහ තල් අරක්කු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් ඇත. මේ වන විට ප්‍රංශය, කැනඩාව සහ ඩුබායි වැනි රටවලට තල් රා සහ තල් අරක්කු අපනයනය කරන අතර, එයින් වාර්ෂිකව ඩොලර් 45,000ක් උපයයි. එම නිසා මේ තල් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි නිෂ්පාදනය කිරීමේ එක් පියවරක් ලෙස මෙරට තල් රා කර්මාන්තයේ යෙදෙන තැනැත්තන් සඳහා පළමුවරට ජාතික වෘත්තීය නිපුණතා සහතික පත් පිරිනැමීමට තල් සංවර්ධන මණ්ඩලය හා ජාතික ආධුනිකත්ව මණ්ඩලය පියවර ගෙන තිබිණි.
එමෙන්ම මේ තල් රා මදින පුද්ගලයන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීමට අවම පොලී මුදලක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය මුදලක් ප්රදානය කිරීමට ද ලංකා බැංකුව හා ඒකාබද්ධව වැඩසටහනක් ද ආරම්භ කරනු ලැබීය.
මේ රා මදින තැනැත්තන් සඳහා ජීවිතාරක්ෂාව, අවදානම් කළමනාකරණය වැනි අංශ සම්බන්ධව විශේෂ පුහුණුවක් දෙන අතරම, එම විධිමත් පුහුණුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් දී ඇත.
මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා මේ වෘත්තීය නිපුණතා සහතික (NVQ 3) පත්‍ර පොල් හා කිතුල් කර්මාන්තයේ යෙදෙන තැනැත්තන් සඳහා ද දෙන ලෙස ද ඉල්ලීමක් කළේය. මෙරට පොල් හා කිතුල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට ද එම පුහුණුව දීමට අවශ්‍ය විෂය නිර්දේශ මේ වන විටත් සකස් කර ඇතැයි ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සභාපති, ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා ඇමැතිවරයා හමුවේ පැවැසීය.
දැනට අප රටේ තල් ගස් මිලියන 11ක් තිබුණද එයින් නිසි ප්‍රයෝජන ගන්නේ සියයට 30ක් වැනි ප්‍රමාණයක් පමණි. ලෝකයේ වැඩිම තල් ගස් ප්‍රමාණයක් සහිත දෙවන රට වන්නේ අපේ රටයි. වැඩිම තල් ගස් ප්‍රමාණයක් ඇති පළමු රට ඉන්දියාව වුවත් තල් ආශ්‍රිත නිෂ්පාදන අතරින් වැඩිම නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කරන්නේ අප රටේය. එමෙන්ම මුළු ලෝකයටම ඇති එකම තල් පර්යේෂණ ආයතනය ද අප සතු වෙයි.