ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන සාර්ථක ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතාට දන්වා සිටි බවත් එහිදී ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දන්වා සිටි බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකිරීම ඇතුළුව අනෙකුත් රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙරට ජනතාවට සහායක් වනු ඇතැයිද හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඩිජිටල් හැඳුනුම්පත හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට සෘජුව මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමගින් මැදිහත්කරුවකුගේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.

ඉන්දියාවේ මිලියන ගණනකට ප්‍රතිලාභ ගෙනදී ඇති ආධාර් කාඩ්පතට ඩිජිටල් හැඳුනුම්පත සමාන වනු ඇති බවත් එමගින් වංචා හා දුෂණ ඇතිවිය හැකි අවස්ථා අවම වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේදී ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන තිබෙන බවත් එය ලෝකයේම පැසසුමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *