ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානි පුරවැසියෙකු වීම නිසා ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූවාය. ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බවත් මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය.ඒ හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

පෙත්සමේ තීන්දුවත් සමග ශ්‍රී ලාංකික නොවන ඇය කිසිදු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවත් වූයේ කෙසේද යන ප්‍රශ්නය මතු වූවේය.ඇය ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ ලේඛනයක් භාවිත කර මෙරට ජීවත් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේද යන්න පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *