ඩයනාගේ පෙත්සමට සජිත්ගෙන් විරෝධතා

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළේය.

මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූහ.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ විනය කමිටුවේ සාමාජිකයින් නම් කර නොමැති බව පෙන්වා දුන්නේය.

විනය කමිටුවේ සාමාජිකයින් මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම බරපතල දෝෂයක් බවත් සඳහන් ක‍ළේය.

එම කරුණ මත මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නඩු විභාගය අවසානයේදී  සැලකිල්ලට භාජනය කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළ අතර ඉන්පසුව පෙත්සම්කාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළේය.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 05 වනදා තෙක් කල් තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *