ජෙරම්ට එරෙහිව නීතිපති මතුකළ මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනුකළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය ඊයේ (22) ප්‍රතික්ෂේප කළේය.

අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා විවෘත අධිකරණයේ කැඳවා තිබෙන ආකාරය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයටවලට පටහැනි බවත් මෙම පෙත්සම්කරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේත් විමර්ශන සිදුකරන හෙයින් අදාළ පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඉකුත්දා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් කරුණු දක්වා තිබුණි.

එම මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවා තිබෙන ආකාරය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයට පටහැනි නොවන බවය.

ඒ අනුව අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 22 වනදා විවෘත අධිකරණයේ කැඳවන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

ඊට අමතරව පෙත්සමට අදාළ සීමිත විරෝධතා ජනවාරි මස 19 වනදා ගොනුකරන ලෙසත් විනිසුරුවරයා විසින් පාර්ශවකරුවන්ට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *