ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ  ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී  පැවැති සාකච්ඡාවේදී  චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට  සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාර්ස් වයිට්ලි මහතා පැවසීය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ  ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් චාර්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි

යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර  තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *