රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ මුදලට රෝගීන්ට ලබාදීම අරමුණු කරගෙන මෙසේ මියගිය රෝගීන්ට පවා ශල්‍ය කර්ම සිදු කර ඇති බවත්, මරණ පරීක්ෂණය අනුව මොලය මියගොස් දින පහකට පසුව රෝගියාගේ හදවත යන්ත්‍රයක් උපයෝගී කර ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.
ශල්‍ය කර්ම සිදු කර ගැනීමට ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ සිය පුද්ගලික ආයතනය මගින් මිලදී ගැනීමට සලස්වමින් රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් රෝගීන්ට සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න,වෛද්‍යවරියගේ ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික , නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාර වෛද්‍යවරිය රාජ්‍යචක්‍ර ලේඛන උල්ලංඝනය කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව රෝහලට ශල්‍ය උපකරණ මිලදී නොගෙන ශල්‍ය උපකරණ විකිණීමට ආයතනයක් පිහිටුවාගෙන එම ආයතනය මගින් රෝගීන් තුන්සීයකට පමණ ශල්‍ය උපකරණ මුදලට ලබා දී ඇති බවට මෙතෙක් කරුණුවලින් හෙළ වී ඇති බව පැවසූ අල්ලස් කොමිසම රෝගීන් අතරින් 77 දෙනෙකුට මෙම අලාභය සිදු කර ඇති බවත් තවත් රෝගීන් 92ක් දුරකථන මගින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.