ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්

ජනාධිපතිවරයාට  දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන්  දෙකක් පමණක් තබාගෙන  ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න  මහතා පැවසීය.

එම බංගලා සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

ජනපති බංගලා කුලියට ලබා ගැනීමට  විවිධ ඉල්ලීම්  දහයක් පමණ  ලැබී ඇති අතර එම ඉල්ලීම් සලකා බලාගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

යාපනයේ ජනාධිපති බංගලාව  යාපනය විශ්ව විද්‍යාලයේ පාවිච්චිය සඳහා ඉල්ලීමක් කර ඇත නුවරඑළියේ බංගලාව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට රජය බලාපොරොත්තු වෙයි.

කොළඹ සහ මහනුවර ජනාධිපති බංගලාදෙක පමණක් විශේෂ උත්සව අවස්ථා සඳහා පමණක් යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා ජනාධිපති මන්දිරයේ අවශ්‍ය වන අතර මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය අවශ්‍ය වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තරයෙන්  භාවිතයට ගෙන නොමැති බව රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *