යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ දීය .
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළහ. එම ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.