මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්රකාශ කළේය.
කිලෝමීටර් 35 ක දුරින් යුත් 2011 වසරේදී ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 7.91 ක හිඟ මුදල ගෙවා අවසන් කරන ලෙස චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට එන්තරවාසියක් ඒවා තිබූ අතර එම හිඟ මුදල ගෙවා අවසන් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට පසුගිය 31 වැනිදා දක්වා කාලය ලබාදී තිබිණ.
කෙසේ වෙතත්, මෙම මස මුලදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ (නීති) චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා කිසිඳු හිඟ මුදලක් චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ගෙවීමට නොමැති බවයි.
මතුව ඇති මෙම අර්බුදකාරී තත්වය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරනු ඇති බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවත් ආරංචි මාර්ග ප්රකාශ කළේය.