අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි .
මොහු යාපනය , සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
ඔහු අද(11) මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයට පිවිස අසුන් ගෙන තිබේ .
ඔහු ඒ වනවිට ගුවන් තොටුපොළ සියලුම මගී නිශ්කාශන කටයුතු නිමවා සිටියත් ඔහු පිළිබඳ ඇති වූ සැකය මත , ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය ලබා ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බව අනාවරණය වී තිබේ .