කොවිඩ් හා එහි ව්‍යාප්තිය ගැන සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක්

කොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි ව්‍යාප්තියේ ප්‍රවණ සම්බන්ධයෙන් සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක් කඩිනමින් නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කර සිටියේ මහජනතාව ඉලක්ක කරගනිමින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉලක්ක කර ගනිමින් අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු කරන අතර එහිදී මහජනතාව ගේ දැනුම වැඩි කිරීමට අදාළ කරුණු වෙනුවෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම යාවත්කාලීන කිරීම වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිත බවය.

කෙසේ වුවද කොවිඩ් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව   ප්‍රකාශ කළ සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිසි බලයලත් සුදුසුකම් ඇති නිල ප්‍රකාශකයන් , ආයතන විසින් නිකුත් කරන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

මෙරට තුළ වත්මන් කොවිඩ් තත්ත්වය සහ එහි ව්‍යාප්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අදාළ සෞඛ්‍ය අංශ සම්බන්ධ කර ගැනීමට අප ඊයේ (01දා) දැඩි පරිශ්‍රමයක් දැරු අතර අවම වශයෙන් දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර දැක්වීමට එම අංශ අපොහොසත් විය. කෙසේ වුවද හැකි සෑම විටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවශ්‍ය තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව සිටින අතර කෝවිඩ් සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සේවයද අමාත්‍යාංශ ලේකම්වරයාටම මාධ්‍යයට ඉටු කිරීමට සිදුව තිබීම නිරීක්ෂණය විය.

ඒ අනුව මේ පිළිබඳ අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටියේ තාක්ෂණික ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු දීමේ ක්‍රම වේදයක් සැකසීමේ  අවශ්‍යතාව වසංගත රෝග විද්‍යාඅංශය සමග සාකච්ජා කළ බවයි. පවතින සන්නිවේදන ක්‍රමවේද සම්බන්ධයෙන් යම් ගැටලු ඇත්නම් ඒවා ද විසඳීමට මේ තමන් කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගියදා තහවුරු කළ අතර ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේද වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවට එම ආයතනය පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙරට තුළ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල මත වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණ මගින් තහවුරු කරගත් කරුණු මත එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉහත කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි.

කෙසේ වුවද මුඛ ආවරණ පැලඳීම, නිතර අත්සේදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ජනතාව විසින් අනිවාර්යෙන් සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *