කොවිඩ් එන්නත් විකිණූ ජාවාරම්කරු අත්අඩංගුවට ගනී

රටේ සියලු දෙනාට නොමිලයේ ලබාදෙන කොවිඩ් එන්නත රුපියල් 2,000 බැගින් මුදල් ලබාගෙන අයථා ලෙස ජනතාවට දුන් පුවතක් මොරටුව ලුනාව ප්‍රාදේශීය රෝහලෙන් වාර්තා විය.

ජාවාරමට සම්බන්ධ පුද්ගලයා රෝහලේ කම්කරුවෙකි.

මොරටුව, ලුනාව ප්‍රදේශීය රෝහලේ සේවකයෙකු මුදල් ලබාගෙන කොවිඩ් මර්දන එන්නත් අයථා ලෙස ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක් මත සිද්ධිය අනාවරණය වී තිබුණි.

ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී තිබුණේ උපාය දූතයින් යොදාගනිමිනි.

එහිදී ඔහු පවසා ඇත්තේ සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 2,000 බැගින් ලබාදිය හැකි බවය.

ඒ අනුව ජාවාරම්කරු සමග ගනුදෙනුව ස්ථීර කරගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් සිව් දෙනෙකු අද අදාළ රෝහලට පැමිණ තිබුණි.

රුපියල් 2,000 බැගින් මුදල් ලබාගෙන එන්නත ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ දී සැකකරුව සෞඛ්‍ය නිලධාරීන් විසින් සිය භාරයට ගෙන මොරටුව පොලීසියට භාරදීමට කටයුතු කෙරිණි.

සැකකරු මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කලක සිට මෙලෙස මුදල් ලබාගනිමින් අයථා ලෙස කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී තිබේ.

සැකකරු හෙට මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *