නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එමින් සිටියදී සංවිධාත්මක බෝට්ටු 3 කින් පැමිණි 30 දෙනකුගෙන් යුත් ධීවරයන් පිරිසක් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට යාමේදී කළ වෙඩි තැබීමකදී එක් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බලපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම සංවිධානාත්මක ධීවර කණ්ඩායමෙන් පහර කෑමට ලක්වූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව ලංකාපටුන, නිලාවේලි ඇතුළු උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී දැල් භාවිත කර ධීවර කටයුතු යෙදුණු බෝට්ටු 11 ක් සහ පුද්ගලයන් 48 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.