ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක ඊයේ (23) පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මිය ගිය පිරිස අතර පාසල් ළමුන් සිව්දෙනෙකුද වන අතර අනතුරින් දිවිගලවාගත් 20 දෙනෙකු රෝහල්ගත කර තිබුණි.
එම පාළම් පාරුව යොදවා තිබුණේ එම ස්ථානයේ පාළමක් ඉදිකෙරෙමින් පැවති බැවිණි.
සිද්ධියෙන් අනතුරුව කුපිත වූ ප්‍රදේශවාසීන් මෙම පාළම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල් වූ බව කියන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ද ප්‍රහාර එල්ල කර තිබේ.
එම පෞද්ගලික පාළම් පාරුව පෙරළී අනතුරට පත්වූයේ ඊයේ උදෑසන 7.30ට පමණය.
ඒ වන විට පාසල් යමින් සිටි දරුවන් ඇතුළු විසි හය දෙනකු පාරුවේ ගමන් කරමින් සිට තිබේ.
පාරුව කළපුව මැදදී පෙරළීයාමෙන් එහි ගමන්ගත් සියලුදෙනා දියෙහි ගිලී ගොස් තිබුණි.
වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලීසිය සහ නාවික හමුදාව එක්ව අනතුරට ලක්වූවන් බේරාගැනීමට යුහුසුලු විය.
දියෙහි ගිලුනු පිරිස බේරාගෙන කින්නියා මූලික රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් පාසල් සිසුන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තිබුණි.
මිය ගිය අය අතර 30 හැවිරිදි මවක්, ඇයගේ 6 හැවිරිදි පුත්‍රයා , අවුරුදු තුනහමාරක දැරියක් මෙන්ම එකම පවුලේ වැඩිමහල් සහෝදරිය, ඇයගේ බාල සහෝදරිය සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද විය.
බරපතළ තත්ත්වයේ පසු වූ 06 හැවිරිදි දැරියක් ත්‍රිකුණාමලය මහරෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත පසුව මාරුකර යවා තිබුණි.
අනතුරෙන් තුවාල ලැබූ සෙසු පිරිස අතර ගැහැණු ළමුන් 05ක්, පිරිමි ළමුන් 06ක්, කාන්තාවන් 04ක් හා පිරිමි 04ක් සිටින බව පොලීසිය පැවසුවේය.
පොලිසිය සහ නාවික හමුදාව එක්ව අද සවස් වන තෙක්ම කළපුවේ තවත් ගිලුණු අය සිටීදැයි සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
ත්‍රිකුණාමලය, කින්නියා, කුරින්චාකේනි කළපුව හරහා ගමන්කිරීමට නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදීය.
ඒ අදාළ කලපුව තරණය කිරීමට නැතහොත් කිලෝමීටර් 3.5 ක පමණ දුරක් ප්‍රදේශවාසීන්ට ගමන් කිරීමට සිදුවීම නිසා බව වාර්තාවිය.
එම පාළම ඉදිකරන අතරතුර ප්‍රදේශවාසීන් විසින් කළපුව තරණය කිරීම සඳහා පාරු සේවයක් යොදාගත් අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එය නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක නොවූ බවය.
මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා බුහාරි හන්දිය අසලින් මාර්ගය හරස් කරමින් ටයර් පුළුස්සමින් කළහකාරි ලෙස විරෝධතාවක නිරත වූයේ අදාළ සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන්ට විරෝධය දක්වමිනි.
ඉන් පසුව විරෝධතාකරුවන් පිරිසක් පැමිණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
ඒ අදාළ පාළම් ව්‍යාපෘතිය ආරම්භකිරීමට මුල් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි සංවර්ධන කටයුතු අතරතුර ඇතිවිය හැකි මෙවැනි අනතුරු වැළැක්වීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා කරමිනි.
මේ අතර කළහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළට පැමිණ විරෝධතාවයේ නිරත වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබූ අතර ඊට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවීමත් සමඟ කින්නියා රෝහල ඉදිරිටද ඇති වුණේ උණුසුම් තත්ත්වයකි.
මේ අතර පාළම්පාරු අනතුර සම්බ්නධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබුණි.
පරීක්ෂණය පැවැත්වීම සඳහා දැනටමත් පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර අවසන්ය.
කුරින්චාකේනි කලපුව හරහා පාරුවකින් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා M.A.M රියාස් නැමැති පුද්ගලයෙකුට
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාලනය යටතේ පවතින කින්නියා නගර සභාවේ සභාපති S.H.M.නලීම් මහතා විසින් බලපත්‍රයක් නිකුත් කර තිබුණි.
එම බලපත්‍රය නිකුත් කර ඇත්තේ ආරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම, පාසල් දරුවන් නොමිලයේ ප්‍රවාහනය කිරීම සහ විටින් විට පාරුවේ තත්වය පරීක්ෂා කිරීම යන කොන්දේසීවලට යටත්වය.