‘කිතුලක මග’ එළිදක්වයි

කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි මාවත වන ‘කිතුලක මග’ “අලුෂ් කිතුල්-තිරසර රටක්” යන තේමාව යටතේ එළිදැක්විණි. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන දිස්ත්‍රික්ක 13 ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස නිෂ්පාදනය කෙරේ.

කිතුල් කැපීමේදී සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේදී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යාම ජනාධිපතිතුමාගේ අරමුණ විය. ඒ අනුව 2021 මාර්තු 17 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කරන ලදී.

වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ‘කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි මාවත’  (17) පස්වරුවේ ගාල්ල, අක්මීමන හියාරේ ජලාශ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

කිතුල් පැණි නිෂ්පාදනය සඳහා වන ‘ශ්‍රී ලංකා ප්‍රමිති’ සහතිකය හඳුන්වා දෙමින් ‘ප්‍රමිති සහතිකය’ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් කිතුල් මල් කැපීමේ පුහුණුව ලැබූ කර්මාන්තකරුවන් පස් දෙනෙකු වෙත සහතිකපත් සහ තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීම සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කරඬුවක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. කිතුල් කැපීම, මී පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර වර්ග, කිතුල් දැව ආශ්‍රිත ආභරණ සහ කර්මාන්ත සඳහා භාවිත කරන මෙවලම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *