කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේග ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා කාන්තාවන් පත්කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකයන් දෙදෙනකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා බල පැවැත්වෙන අන්දමට අදාළ අතුරු නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණය පත්වීම සම්බන්ධයෙන් කැකිරාව තේරීම් භාර නිලධාරියා නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරිම වළකාලමින්ද අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.
අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
සමගි ජනබලවේගයේ සාමාජිකයන් වන චන්දිම ගමගේ සහ අයි.එම්.පි.කේ. ඉලංගසිංහ යන මහත්වරුන් ගොනු කර ඇති පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් කැකිරාව ප්‍රාදේශි සභාව, තේරීම් බාර නිලධාරීවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.
නොබෝදා පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමග ජනබලවේගය පක්‍ෂයට එක් මන්ත්‍රී ධූරයක් සහ ලැයිස්තු මන්ත්‍රීධුර තුනක් හිමිවු බවත් මැයි 20 දාතමින් යුතු ලිපිය මගින් කැකිරාව තේරීම් භාර නිලධාරිවරයා මෙම ලැයිස්තු මන්ත්‍රීධුරයන් සඳහා කාන්තාවන් තිදෙනකු නම් කිරීමට තීරණය කර ඇතැයි දැනුම් දී ඇත.
එම තීරණය පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් නීතියට පටහැනි බවත් ස්වභාවික යුක්ත මූලධර්මයට පටහැනි බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ එබැවින් තේරීම් භාර නිලධාරිවරයාගේ අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවන් නිකුත් කරන්නැයිද අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
පෙතසම්කරුවන් වෙනුවෙන් නීතිඥ සඳමල් රාජපක්ෂ මහතා පෙනී සිටියේය.