සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් ඊයේ අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
වෙඩි තබන සෑම උණ්ඩයක්ම පාහේ ‘කේපීඅයි’ අක්ෂරයෙන් සටහන් කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කංජිපානි මත්ද්‍රව්‍ය ජාවාරම කළේ ‘කේපීඅයි’ ලෙසින් හඳුනාගෙනය.
ඔහු විසින් පාකිස්තාන ජාවාරම්කරුවන්ගෙන් ඇනවුම් කරන ලද මත්ද්‍රව්‍යවල ‘කේපීඅයි’ යනුවෙන් සලකුණු කර ඇති බව බුද්ධි අංශ ප්‍රකාශ කළේය.
මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකදී මෙලෙස වෙඩි උණ්ඩ සලකුණු කළ සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි පොලිස් තොරතුරු සඳහන් කළේ.
ටී 56 අවි අතැති පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම උණ්ඩ කොපුවල ‘කේපීඅයි’ යනුවෙන් සලකුණු පෑනකින් පැහැදිලිව ලියා තිබූ බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
මෙම පතොරම්වල වර්ණය සාමාන්‍ය පතොරම්වලට වඩා වෙනස් බැවින් ඒවායේ කිසියම් දියරයක් ආලේප කර ඇත්දැයි දැන ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් මත රන් දියරයක් ආලේප කර ඇති බවට පොලිසිය සැකකරයි.
වසන්ත වෙඩි තැබීමකින් ආරක්ෂා වීම සඳහා සූරයක් පැළඳ සිටි බව ප්‍රසිද්ධව සිටි බැවින් වෙඩික්කරුවන් එම උණ්ඩවලට දියර වර්ගයක් යොදන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මේ අතර අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පච්ච කෙටීමේ සහ සිදුරු කිරීමේ චිත්‍රාගාරයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරයි. වෙඩි තැබීමෙන් පසු ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීව ඇතුළු 6 දෙනෙකු රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත්, තුවාල ලැබූ වසන්ත පෙරේරා සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සුජීව ඇතුළු තවත් සිව් දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
සැකකරුවන් පැමිණි වාහනය මෙන්ම තුවක්කුකරුවන් වෙඩි තැබීම සිදුකරන ආකාරයද ඒ අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ආරංචි මාර්ගවලට අනුව මෙම ප්‍රහාරය සිදුකිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට සැක කෙරෙන කංජිපානි ඉම්රාන් මේ වනවිට ඩුබායි සහ ප්‍රංශය යන රටවල් දෙක අතර ගමන් කරමින් සිටින අතර පකිස්ථානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඍජු සබඳතා පවත්වන බවට තොරතුරු ලැබී තිබේ.