තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණි.
මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 1998 වසරේදී තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බව පවසන පෙත්සම්කරුවෝ එම දඬුවම මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් කියා සිටිති.
තමන්ට නියම කර ඇති මරණීය දඬුවම වසර 20 ක සිර දඬුවම්ක් බවට පරිවර්තනය කොට දඬුවම් නියම වූ 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ එසේ නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.