LK reports news sinhala

ක්‍රිකට් නඩුවේදී තොරතුරු රැසක් එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් යැයි එහි සභාපතිවරයා පැවසුවද, ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ එම ආයතනයට රාජ්‍යය කෙරෙහි වගවීමක් ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පැවසීය.

ඒ ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමතුන්වන දිනටත් සලකා බැලු අවස්ථාවේදිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම අද තුන්වන දිනටත් මෙලෙස අභියාචනාධිකරණය හමුවේ සලකාබැලීය.

ඒ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් වන බැවින් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ විගණකාධිපතිවරයාට බලයක් ඇති බවය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනය තුළ මූල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට ලක් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. එවැනි වටපිටාවකයි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වගකියන බව පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙන්නේ. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට එහි අරමුදල් හිතුමතේ රිසි සේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍යය සමග වගවීමක් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජය නියෝජනය කරන ජාතික ආයතනයක් නිසයි. “ යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විමර්ශන වාර්තාවෙන් දූෂණ අක්‍රමිකතා හා අවිධිමත් ක්‍රියා රැසක් අනාවරණය කර ඇති බවය.

“ස්වාමිනි විගණකාධිපතිවරයා නිකුත් කළ විමර්ශන වාර්තාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රැසක් අනාවරණය කර තිබුණත්, කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම වාර්තාව අභියෝගයට ලක් කර නැහැ. තමන් ජන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි රජයේ විගණකාධිපති වාර්තාව තුළින් මනාව පැහැදිළි වෙනවා. විගණන පරීක්ෂණයේ දී ඊට අවශ්‍ය තොරතුරු ලබා දීම පවා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පැහැර හැර තිබෙනවා. එමෙන්ම වාර්තාව තුළින් ප්‍රශ්න ගත කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීමත් ඔවුන් මගහැර තිබෙනවා.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි ප්‍රබල දූෂණ හා අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාව තුළින් අනාවරණය කර තිබියදිත් එම කරුණු අධිකරණයෙන් වසන් කිරීමට පෙත්සම්කරු උත්සාහ දරා ඇති බවය.

“ස්වාමිනි, ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග ලබා ගැනීමේදී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විගණකාධිපති වාර්තාව පිළිබඳව අධිකරණය හමුවේ කිසිවක් සඳහන් කර නැහැ. එලෙස හිතාමතාම කරුණු වසන් කර ඇත්තේ මේ අතුරු තහනම් නියෝග ලබාගන්න. එසේම මෙම විගණන වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ. එබැවින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

පෙත්සම වැඩිදුර සලකා බැලීම අද (24) දිනයේත් සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *