උසස්පෙළ විභාග පැවැත්වීම පිළිබඳව

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

තාක්ෂණික උපදෙස්වලින් අනතුරුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (09) ආරම්භ වු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එසේ වුවද අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, කපිල පෙරේරා මහතා පවසා සිටියේ, 5 වසර ශිෂ්‍යත්වය ඔක්තෝබර් මස 3 වන දිනත් උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දා ආරම්භ වන බවත් ය.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ, සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් සිසුන්ගෙන් 169,000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා තිබේ.

ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුකරන්නේ ද යන ගැටලුව දැනට පවතින බව ද අධ‍්‍යාපන අමාත්‍යවරයා පවසයි.

පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිඵලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නැඟී ඇති බවත් ඔවුන් ද ඉතා ‍ප්‍රායෝගික ව සහ නම්‍යශීලී අයුරින් තීරණයන්ට එළඹී ඇති බවත් පැවසු අමාත්‍යවරයා, මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යහංශයට එන්නත් ලබාදීම අතිශයින් ම ප්‍රමුඛ කාර්යයක් බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *