උඩරට මාර්ගයේ දුම්රිය දිගින් දිගටම පීලිපැනීම් සිදුවීමට හේතු වී ඇත්තේ දුම්රිය පීලි ගෙවී යාම සහ සිල්බර කොට දිරා යෑම බව වාර්තා වේ.
හැටන් සිට බදුල්ල බලා වන කොටස තුළ දුම්රිය පීලි පැනීම් ඉතා බහුල ලෙස වාර්තා වන අතර පෙරේදා දිනයේ ද හැටන් සිග්ගිමලෛයි ප්රදේශයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්වුණි.
මෙම කොටස සඳහා භාවිතා වන පීලි සහ සිල්බර කොට දීර්ඝ කාලයකින් අලුත්වැඩියා කර නොමැති බව වාර්තා වේ.
දුම්රිය පීලි සහ ඒවා සවිකිරීමේ දී යොදා ගන්නා විවිධ ඇණ කොටස් හා දුම්රිය පීලි සිල්බර කොටස්වලට සවිකිරීමේ දී යොදා ගන්නා ඇතැම් ඇණ ඇතුළු කොටස් ඔස්ට්රියාව හෝ යුරෝපීය කලාපයේ රටවලින් ආනයනය කළ යුතු වේ.
මීට වසර කිහිපයකට පෙර මේවා ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව සඳහන්ය.
එහෙත් කොරෝනා වසංගත තත්ත්වය සහ ඉන් අනතුරුව මතුවු ආර්ථික අර්බුදය මෙන්ම ඩොලර් සංචිත රජය සතුව නොමැතිවීම හේතුවෙන් එම ආනයනය කිරීම් ප්රමාද වී තිබේ.
එම ප්රමාද වීම මේ දක්වා කාලය ගතව ඇතත් තවදුරටත් ඩොලර් සංචිත හිඟය හේතුවෙන් රේල් පීලි සහ එම උපකරණ රැගෙන ඒමට නොහැකි වී ඇති බව සඳහන්ය.
මේ අතර දුම්රිය පීලි පැනීමට ලක්වු අවස්ථාවේ දී ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් මගීන් ප්රවාහනය කෙරෙන අතර ඊට ද දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාල පිරිවැයක් යෙදීමට ද සිදුව තිබේ.