ආර්ථික පරිවර්තන පනතට එරෙහිව සර්වජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  සර්වජන බලය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බව  අධිකරණ වාර්තාකරු පැවසීය.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජීවීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවය.

මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ හේතුවෙන් යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇති බව සඳහන් වෙයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාල පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් විසින් ද පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *