භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් ඊයේ (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් විය.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා.
පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි.
අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි.
ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා.