අවුරුදු 15 දැරිය අපයේජනය කළ අය අතරට විශේෂඥ වෛද්‍යවරයෙකුත්

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකි.

කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර දැරියව විවිධ පාර්ශ්වයන් වෙත ලබාදුන් පුද්ගලයින්, ප්‍රවාහනය කළ පුද්ගලයින්, කාමර පහසුකම් ලබාදුන් පුද්ගලයින්, දැරියව අපයෝජනයට ලක් කළ පුද්ගලයින්, දැරියව අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයින්, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් වේ.

එමෙන්ම අදාළ දැරියගේ මව ද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරට අයත් ය.

පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධියට අමතරව මේ ආකාරයෙන් දැරියන් අලෙවි කරන අනෙකුත් වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් බවය.

ඊයේ දිනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *