ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.
මෙම පනත් කෙටුම්පතට මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක් දැනටමත් පළවී ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක් ලැබෙයි. මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටිති.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන්වේ. පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයාගේ නියමය පරිදිය.